දිනෙන් දින උණුසුම් වෙන කොළඹ නගර සභාවේ මුල් පුටුව

දිනෙන් දින උණුසුම් වෙන කොළඹ නගර සභාවේ මුල් පුටුව

June 8, 2025   12:37 pm

කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා මේ වන විට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් තරගකාරීත්වයක් දක්නට ලැබෙන අතර එය මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

මේ සම්බන්ධව ආණ්ඩුවේ පාර්ශ්ව අදහස් දක්වමින් පැවසුවේ කොළඹ නගර සභාවේ බලය අනිවාර්යයෙන්ම ජාතික ජන බලය පිහිටුවන බවය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට ආණ්ඩු පක්ෂයට අවස්ථාව නොදෙන බවත් එම සභාවේ බලය අනිවාර්යෙන්ම විපක්ෂයයේ පක්ෂ එක්ව පිහිටුවන බවය.

ඒ සඳහා විපක්ෂයේ බොහෝ පක්ෂ රැසක් මේ වන විට ඒ සඳහා විපක්ෂය වටා එකතු වී ඇති බවත් එම පක්ෂය සඳහන් කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කළ නමුත් ඔවුන්ට පාලනය පිහිටුවීම සඳහා බහුතර බලය හිමි කර ගැනීමට අවස්ථාව අහිමි විය.

එහිදී ඡන්ද 81,814ක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 48ක් හිමිකර ගනු ලැබූ නමුත් බලය පිහිටුවීම සඳහා එක් දේශපාලන පක්ෂයක් මන්ත්‍රී ආසන 59ක් හිමිකර ගත යුතුය.

කෙසේ නමුත් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඡන්ද 58,375ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 29ක් හිමි කර ගත් අතර සෙසු පක්ස ලෙස එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,297ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ආසන 13ක් ද පොදුජන පෙරමුණ 9,314ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 05ක්ද මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 8,630ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 04ත් සහ සර්වජන බලය ඡන්ද 3,911ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 02ක් ද  හිමි කරගනු ලැබීය.

සෙසු පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් 5ක් එක් මන්ත්‍රී ආසනය බැගින් මෙහිදී හිමිකරගත් අතර කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදි ආණ්ඩු පාර්ශ්වයට හෝ විපක්ෂයට මෙම පක්ෂවල සහයෝගය බලය පිහිටුවීමේදි අනිවාර්යයෙන්ම ලබා ගත යුතුව ඇත.

මීට හේතුව වී ඇත්තේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක් දේශපාලන පක්ෂයක් මන්ත්‍රී ආසන 59ක් හිමිකරගත යුතු බැවිණි.

ඒ අනුව ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් මන්ත්‍රී ධුර 11ක් අවශ්‍ය වනු ඇති අතර, ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් මන්ත්‍රී ආසන 30ක් අවශ්‍ය වනු ඇත.

ඒ අනුව ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් ජාතික ජන බලවේගය සහ විපක්ෂය පාර්ශ්වය වෙනුවෙන් සමගි ජන බලවේගය මේ වන විට ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැසක් මේ වන විට සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇති බව එම  පක්ෂ දැනුම්දී ඇතැයිද වාර්තා වේ.

එහිදී විපක්ෂයේ ප්‍රධාන පාර්ශ්ව දෙකක් වන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මුල් අදියරේදී කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ අතර පසුව එම පක්ෂ දෙක අතර පොදු එකඟතාවයක් මත කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්ව කටයුතු කිරීමට තීරණය කළේය.

ඒ අනුව සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන එක් කළ විට මන්ත්‍රී ආසන 42ක් ලැබෙන අතර ඔවුන්ට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් මන්ත්‍රී ආසන 17ක ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

මේ අතර කොළඹ නගරාධිපති ධුරය සඳහා පොදුජන පෙරමුණ සිය තීරණය දැනුම් දෙමින් පැවසුවේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයාට සිය සහාය ලබා දීමට තීරණය කළ බවය.

ඒ අනුව මේ වන විට කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා මේ වන විට ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර එය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය යොමු කරන සිදුවීමක් බවටද පත්ව ඇත.

මේ අතර කොළඹ නගර සභාවේ ඇතැම් ස්වාධීන කණ්ඩායම් චෝදනා කරනුයේ කොළඹ බලය පිහිටුවීම සඳහා ආණ්ඩු පාර්ශ්වය මෙන්ම විපක්ෂයද විවිධ වරදාන වරප්‍රසාද ලබා දීමට සූදනම් වන බවය.

මෙම චෝදනා, යෝජනා සියල්ලක් මැද මේ වන විට කොළඹ මුල් පුටුවේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර අනෙක් සියලුම පළාත් පාලන ආයතනවල මුල් පුටුවට වඩා දැඩි අවධානයක් කොළඹ නගර සභාවේ නගරාධිපති පුටුව වෙත මේ වන විට ලැබී තිබේ. 

මේ අතර කොළඹ නගර සභාවේ බලය සම්බන්ධව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි කතා බහට ලක්ව ඇති අතර සියලු පාර්ශ්වයන්ගේ අවධානය මේ වන විට කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව යොමුව ඇත.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ කොළඹ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් පැවසුවේ දූෂණය, වංචාවට සම්බන්ධ නොවන ඕනෑම අයෙකුට ඔවුන් සමග සම්බන්ධ වීමට හැකියාව ඇති බවය.

"නගරය ගැන ප්‍රගතිශීලීව හිතන ඕන කෙනෙක්ට ඉස්සරහට මේ ගමන යන්න පුළුවන්, අපිට ඒ ශක්තිය අවශ්‍යයි. ඉතිං මේක ශක්තිමත්ව ඉදිරියට කරගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම ජාතික ජන බලවේගය." ඇය පැවසුවාය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය නොව අනිවාර්යයෙන්ම සිය පක්ෂය වන සමගි ජන බලවේගය විසින් පිහිටුවන බවය. 

එමපණක් නොව නොව ජාතික ජන බලවේගයට බහුතරය නොමැති සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සිය පක්ෂය නායකත්වය ගන්නා බවද ඔහු පැවසුවේය.

"කොළඹ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් අපිට අනිවාර්යෙන්ම සහාය ලබා දෙයි" හර්ණණ රාජකරුණා මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ එලෙසය.

කෙසේ වෙතත් තර්ක විතර්ක, යෝජනා චෝදනා සියල්ලක් මැද රටක් අවධානය යොමු කළ කොළඹ මුල් පුටුවේ හිමිකාරයා කවුද යන්න 16 වැනි දින තීරණය වනු ඇති අතර එතෙක් සියල්ලන් කොළඹ පුටුව හිමියවන්නේ කාටදැයි අවධානයෙන් සිටිනු ඇත.

එමෙන්ම දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේද පවතින තත්ත්වය මත කොළඹ නගර සභාවේ බලය හිමිකර ගැනීම එදින වන විට තවත් උණුසුම් වනු ඇති බවත්ය. 

ඒ අනුව වසර ගණනාවකට එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජන බලවේගයට වැඩි නැඹුරුවක් ඇති කොළඹ බලය අහිමි වී ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්නේද නැතහොත් ඔවුන් එක්ව සිය බලය තහවරු කරගන්නේද යන්න 16 වැනිදායින් තීරණය වනු ඇත.